Saturday, July 4, 2015

radical මනමේ වෙතයි .......

වෙදදුරෙක්
අවැසිය
ඔඩු දුවපු ප්‍රේමයක්
හදවතෙන්
මකන්නට !


මේ කතාව, millenium ලෝකයේ ජීවත් වෙන අපේ කාලයේ radical මනමේ වෙතයි ........


ඒ වගේම මේ කතාව , තාමත් දමා ගිය ආලය වෙනුවෙන් ගං දෑලේ ඉකිබිදින මනමේටයි , ආදරේ කරන ඒ සුගත්ටයි , දම්ම්ටයි , ඒ අරුන්දතීටයි , මේ කතාව ඇගේ පරම්පරාවේ අනෙක් ගැහැණුන්ටයි... ඒ මනමේටයි  .... 

ඇත්තටම  මම ප්‍රසිද්දියේ ලියන්නේ නැත්තේ ඇයි කියලා ගොඩක් අය දන්නවා , ඒ මගේ ප්‍රතිරූපයට ලිවීම  ගැලපුන් නැති නිසා සහ මගේ  සිතුවිලි කොහෙත්ම මා වටා උපතින්ම ගොඩනැගී තිබු ලෝකයට ගෝචර නොවෙන නිසා ....


එත් ලෝකය වෙනුවෙන් , ලෝකයේ වුමනාවට මන් ජීවත් වුනේ නෑ ... ජීවත් වෙන්නෙත් නෑ ....


මන් තුල උපතින්ම උරම වී තිබු ඉංග්‍රීසිය තිබුණා . ඒ නිසා ජීවිතේ ගොඩක් දේවල් මට ඉක්මනින්  ලගා කර ගන්න පුළුවන් වුණා . 


ඒ වගේම මිනිසුන් හීනෙන්වත් හිතන්නැති නිශ්ශබ්ද කෙනෙක් වෙන්නත්, මහා සෙනගකට එක හුස්මට කෑ ගහල කතා කරන්නත් මට පුළුවන් වෙලා තිබුණා . 


යුරෝපේ මහා රැජිණ එක්ක රාත්‍රි බෝජන වලදින , කොලබ තියෙන හොදම DJ , events , italian vogue , loreal , american idol ගැන නිතර කතා කරන කෙල්ලෙකුයි, කලින් කියපු අරුන්දතී එක්ක අඩි පාරේ කෙලවරේ තියෙන සේපාලිකා ගහ ලගට හවසට ගිහින් මල් කඩන් පාර පුරා හිනා වේවී එන කෙල්ලෙකුයි මගේ ඇගේ ඉන්නවා . 

හැබැයි හොදම දේ වුනේ ඔය දෙන්නම මගේ තුල උපරිම හොදින් ඉන්නවා එක්කෙනෙක් වැඩියෙන් වත් එක්කෙනෙක් අඩුවෙන් වත් හිටියේ නෑ . ඒ නිසා ගොඩක්, බහුතරයක් තමන්ට කැමති කෙනාව විතරක් මන් තුලින් දැක්කා. වරැද්ද ගත්තා.


මට පරතෙරවල් දෙකක මිනිස්සු ආදරෙයි ... මන් කවුද කියල ජීවිතේටම දැනන් හිටියේ හරිම ටික දෙනයි .


මම කවදාවත්ම පසුතැවෙන්න කැමති කෙනෙක් නෙමෙයි , වයසට ගිහින් ජීවිතේ ආස කරන දේවල් කරන්න බලන් ඉන්න කෙනෙක් නෙමෙයි . කොටින්න කිව්වොත් මන්, අමාරුවෙන් ලැබිච්ච, කුණු ජරාව කකා පෙරේත ආත්මවල ඉදල ඉදල , පෙරුම් පුරලා පුරලා , අමාරුවෙන් ලබාගත්ත මගේ මනුස්ස ආත්මෙට සිරාවටම!! වචනයේ පරිසමාර්තයෙන්ම ආදරේ කරන කරන කෙනෙක්. ගෙවෙන හැම දවසක්ම මගේ කර ගත්ත කෙනෙක් . වෙනස් කරන්න බැරි දේවල් පාඩු අලාබ නොබලා දාල යන කෙනෙක්, මොකද මේ ජීවිතේ ආයි  මට ලැබෙන්නේ නෑ  , මන් එච්චර පින් කරන්නේ නෑ. 

ජිවත් වෙන්න දගලලා දගලලා , මැරෙන්න යන මොහොතේ , තව  පොඩ්ඩක් කල් ඉල්ලන්න මට ඕනේ නෑ . මම හැම දාම ජීවත් වෙනවා , දැනෙන්න .
දන්න ඉංග්‍රීසියෙන් කිව්වොත් "I LIVE , NOT JUST SURVIVE " 


කැපකිරීම් කරන්න ඕනේ , හැබැයි ඒ ජීවිතේ වෙනුවෙන් , මේ හැම දේම කරන්නේ අපි ජීවත් වෙන්නයි . සමහර දේවල් වලට අපි පුරුද්දට ආදරේ කරනවා, සමහර විට වෙනස් වෙනස් වුන දේවල් වෙනස් වුනු මිනිස්සු එක්ක, කලින් ආදරේ කරපු අතීතේ සිහි කර කර , අද දවසේ අඩ අඩා අපි ඒ දේම බදා ගෙන දුක් වෙනවා , කවද හරි ආපහු වෙනස් වෙයි කියලා. විදවනවා විදවනවා ,, තමන්වත් නැති කරගෙන . අර ජීවතය !!! ගෙවෙනවා ගෙවෙනවා හැමදාම ....


වටිනාකමක් නොලැබෙන තැන්වල, ආදරේ නිසා කියාගෙන මිනිස්සු බලාපොරොත්තු ගොඩ ගහගෙන පෙරුම් පුරනවා , ජීවිතේ !!!! ගෙවිල යනවා

ගස් , ඔව් යන්න බෑ , පොලවට මුල් ඇදලා,,,,,,, කාලයක් ගියාම , මහා සද්දන්ත ගස් ඇදගෙන වැටෙනවා ...
ඔබ ගසක්ද? කිසිදා සෙලවෙන්න බැරි?

ඔව් මේ කතාව , මනමේ වගේ..... මනමේ කුමාරයා කොයි තරම් බලාපොරොත්තු ඇතිවද කැන්දන් එන්න ඇත්තේ , අඩියෙන් අඩිය මහා කළුවරේ , බයානක සද්ද අස්සෙන් , හරි පරිස්සමින් , කැන්දන් එන්න ඇති.

එදත් අවුරුදු දහයකට කලින්........ ඒ ගෑණි කඩුව දුන්නේ , ජීවත් වෙන්න වරම් දුන්නේ, ඒ වැද්දට ! මනමේ උබට නෙමෙයි. උබට නෙමෙයි මනමේ!


අදත් මනමේ පෙන්නනවා , පොස්ටර් ගහලා හරි උජාරුවට පෙන්නනවා , එත් අදත් ඒ ගෑණි කඩුව දෙන්නේ , මනමේ උබට නෙමෙයි. උබට නෙමෙයි මනමේ ! උබට නෙමෙයි !

ඔව් මනමේ පෙන්නයි හෙටත් තව කාලාන්තරයකට , හැබැයි මනමේ, උබට වැරදුනා !!!!! පිලිගනින් .... 

එදාටත් ඒ ගෑණි කඩුව දෙන්නේ, මනමේ , උබට නෙමෙයි.            උබට නෙමෙයි මනමේ!


එකම කතාවක , එකම පසුබිමක ඇයි  , ඇයි තවමත් වෙනස් ඉරණමක් හොයන්නේ මිනිස්සු  ... 


මනමේ... උබ මරුන එක හොදයි බං .. නැත්තන් මනමේ කතාව අද කරද්දී මනමේව  හොයා ගන්න වෙන්නේ town එකේ bar එකෙන් , අච්චර ආදරේ කරපු , ජීවිතේම දීලා , අඩියෙන්  අඩිය ඉස්සරට ගෙනාපු ගෑණි ගැන හිත හිතා  උබ විදවයි , මිනිස්සු මනමේ කුමාරි ගැන කතා වෙද්දී , හැඩි  දැඩි වැද්දට ආදරේ කරද්දී , උබ බේබද්දෙක් වෙයි . 


මනමේ , ඇත්ත, උබ  මැරුන එක දාහකින් හොදයි ......
ඇත්තටම අදටත් මනමේ , උබ එකම කතාවක වෙනස් අවසානයක් හොයන , කුමාරයෙක් ...
වචනයේ පරිසමාර්තයෙන්ම උබ කුමාරයෙක් ....  කිව්වට වැඩක් ණෑ බන් උබ මනමේනේ  ...උබ හැදෙන් නෑ 

එත් අපි උබට ආදරෙයි , මොකද වැද්දන් අතර උබ කුමාරයෙක් .. කුමාරයෙක් වගේ මැරියන් .....මටත් පිස්සුනේ , මේවා උබට කියන්න ... උබ හැදෙන් නෑ.....


ප්‍රේමයෙන් ආතුර වූ ඒ හදවතට,දෙළුම් යුෂ බිංදුවක් මොටද !
(සත්‍ය සිදුවීමක නිර්මාණාත්මක නිරූපනයක් )
~R.F~


Sunday, March 15, 2015

තරු , අදත් පායනවා ඒ තරු



උරහිසට හිස තියන්
තරු පායන අහස යට
කළුවර වැඩි වෙනකම් කතා කිය කියා
හිටිය අපි ,
උරහිස රිදෙන කොට හෙමීට
උකුලේ නැළවුණු අපි ,
ඔලුව අතගගා තරු බලන ඇස් වලට
එබී එබී, නළලත සිබගත් අපි
තරු එළියටත් හොරෙන්
ආදරේ වින්ද අපි
තරු පමණක් දන්නා
රහස් දරන අපි,
දිහා බලන් අද සද තරු මුමුනනවලු ඒ රහස් කතා
සමච්චලයට හිනා වෙවී

~R.F~

Saturday, September 6, 2014

සමහරවිට ......

සමහරවිට එයාටත් මට වගේම ලියාගන්න බැරි කවක් ඇති 
සමහරවිට එයත් මතක් කරනවා ඇති අමතක වුනු සින්දුවක කොටසක් 
උදේ ඉදන් හවස් වෙනකම්ම 
සමහරවිට එයත්  හිත හිතා වදවෙනවා ඇති 
ජීවිතේ මීට වඩා වෙනස් වුනා නම් කියලා 
සමහරදාට එයත් හිතනවා ඇති හද දිහා බලාන 
කවුරු හරි හදේ ඉදන් බලන් ඉන්නවා ඇති කියලා 
සමහරදාට එයාටත් මතක් වෙනවා ඇති මාව 
හද නැති කළුවර දාට 
ගස් අතරින් හුලන් හමනකොට 
අවුවත් එක්ක වැස්ස වහිනකොට 
පාර පුරා මීදුම තියෙනකොට
සමහරවිට එයත් අගුල්ලා ගන්නවා ඇති හිතේ පහලම කොනක 
මටත් මතක නැතුවා වාගේම .....

~R.F~

Friday, August 29, 2014












හොදටෝම වැස්ස 
ගොරවනවා හතර වටින්ම 
හිරිකඩ මුණට වැදිලා 
වතුර ඇග පුරාම විහිදෙනවා 

එක පාරටම 
අකුණක් එක්ක 
බාගෙට තෙමීගෙන ඇවිත් 
නුබ 
මගේ කුඩේට ගොඩ වුණා 

මගේ උණුසුමෙන්, උණුහුම් වෙමින් 
සීතලට මන් ලගටම ගුලි වෙමින් 
ජීවිත වැස්සෙන් මුවා වෙන්න දගලපු නුබ 
වැස්ස පායද්දීම ආගිය අතක් නැති වෙලා 

පොඩ්ඩක් හොයල බලද්දී තමයි තේරුණේ 
නොතෙමි  හිටියේ නුබ 
හැබැයි තෙමුණේ 
කුඩේ අයිති මම 

Friday, August 15, 2014

සරස්චන්ද්‍රගේ මනමේ

ඔහු මනමේ කුමාරයාය
කඩුවද  ඇයට දී කැන්දාගෙන ගිය

ඇය කුමරියක් විය
වැද්දෙක්ට රහසින් පෙම් බැන්ද

ඔහු කුමරා විය සැමදාම
වැද්දෙකු හා පියමන් කල කුමරියකට

නමුත් අදටත් ඇය
දන්නේ සැවොම "මනමේ මකුමරිය" ලෙසටය

~R.F~

Monday, August 11, 2014

මගෙ හිමි සද

මා කියනා ගී පදවැල් අහන්න
මා ලියනා කවි සීපද කියවන්න
දෙඅත් වලින් ගෙල බදාන නැලවෙන්න
මගෙ හිමි සදට පොඩි වේලාවක් නැද්ද

 යහනේ  සිටන් එන සුසුමන් නොදැනේද
සිහිනෙන්වත් මා හා තනි රකිනවද
මුනිවත රැකන් කියනා දෙය නොතේරෙ
මගේ හිමි සද ආලය නොදන්නෙ

දුරින් හිදන් නුබ සැනසේනම් ඔහොම
ලගින් ඉන්න මා තෝරාගත්තේ කුමට
වින්දත් දහක් දුක් ඉවසාගෙන මෙහෙම
මමත් ලියක් මගෙ හිමි හට ආලය කරන

තනියෙන් හඩන මගෙ සිත නුබ නලවන්න
දන්නේ නැද්ද නැත්නම් ඔය නුබෙ හැටිද
නැද්දෝ ඉතින් මතකෙට මා පැමිණෙන්නේ
මගේ හිමි සදට වැඩ පමණද යුතු වන්නේ

දෑස පුරා  නුබ රිසිසේ දැක ගන්න
හිත පුරාම නුබෙ ආලය පුරවන්න
නුබට අවැසි නැත්නම් මෙය කුමකටද
මගෙ හිමි සදට දැන් මා නොවටින්නේද

අඩමින් ඉන්න මගෙ  සිත ගෙන නලවන්න
නුබව සොයන නෙතු සනහාලන්න
ළමැද හොවා නුබෙ  සුවදම විදගන්න
නුබ වැනි පුතෙක්වත් මගේ හිමි සද මට දෙන්න

~R.F~

නොපෙනෙන ආර්ථික දර්ශකය


Sunday, August 10, 2014

ආලය විභාග වූ වගයි .........














උසස් පෙළේ සිටය දන්නේ මා ඇයව

දිස්ත්‍රික්කයේ මා දහනමවෙනියාය
ඇය අටවෙනියා වුනිය

අපි ගියේ එකට එකම නීති පීටයටයි
දෙවෙනි වසර කෙල ගත්තේ
මා මගෙ මැටි  කමටයි
 

යන්තම් ඇති නිසා මුදලක් ඉතිරි කරන්
දා ගත්තාය පොඩි කඩයක්
ගමේම මන්

ඈ සිවුවෙනි වසරේය

මා දනපතියෙකුය ගමේ

නිතරම හමු වුණා ඈ ආකල නිවාඩුවේ


ඇගෙ හරි කටය
කියවන්නෙම නීතියමයි
ජන්මය බේරුනේ
නීතිය මා දන්නා බැවිනුයි

ඇගෙ කටකාර
නිල්නෙතු මට ගැලපුන හන්දා
නීතිය මමත් යහමින් දන්නා හින්දා
කරගන්නට ඈ භාරිය හිත හිරිමල් වූවා

ඊළග නිවාඩුවට කලියෙන් ඈ එවූ ලියුමේ
තිබුනේ මට නොව වෙනෙකෙකුට
ඈ සිත දී ඇති බවකුයි
යන්තම් යෝජනාවට කලියෙන්
ඈ එය කිවූ හන්දා
මා නිහඩවම ඉන්නට
හිත හුරු කර ගත්තා

ඈ ආවේය ගමට
නීථීක්‍යවරියක් වී
ඈ හා බැදුණු මගෙ සිත
තවමත් ගල් වී

වසරින් වසර ගෙවුනිය
මා දැන් කෝටිපතියකුය ගමේ
ඈ පිළිගත් විනිසුරුවරියකය රටේ

දැක නැතිමුත් දැන් ඇයව
අවුරුදු ගණනකම සිටන්
ඈ වන් එකියක් නැතිනිසා
මා අදටත් තනියෙන්

මාත් කොළබ වෙසෙන්නට ගියේ
ඉන් ටික කලකට පසුවයි
ඈ ඒ ලගම වුයේ පෙර කල පිනටයි

දිනක් දෙකක් හමුවුයෙමු මා ඈව
තවමත් ඇගේ කටනම්
ඒ වාගෙමය

නිතරම තෙත් වුනත් නිල් නෙතු
පොඩි දෙයටත්
වරදටනම් ඇගේ සිත
තෙත් වූයේ නැත කිසිවිටකත්

ඈ හට සතුරන්
බොහොමක් හන්දා
මා ඈ ගැන නිතරම
විමසිල්ලෙන් උන්නා

කියාගන්ට තාමත් මට බැරිවූවත්
මා හට ඇගේ ප්‍රේමය
මහමෙරක් තරම්
සියලුම වීරිය හිත අද්දරට අරන්
ගියාය හවසක ඇගේ නිවහන වෙතට මන්

රෑ  වැඩි නිසා යනකොට ඇගේ නිවහන ලගට
නැවතත් හැරී එන්නට වුණි කරුමෙටම
ඇසුණු නිසා  කසුකුසුවක් අනෙක් පසින්
මා එදෙසටම පිය නැගුවා හෙමින් හෙමින්


සද එලියෙන්ම මා ඔහු හදුනා ගත්තා
ගිය මාසයේ ඔහු ඈ නිසා සිර දඩුවම් වින්දා
එක පාරටම ආ ආවේගය හින්දා
මා පොර බැදුවේය ඔහු බෙල්ලෙන් අල්ලා

ගත්තේ ඔහු මුවහත් පිහිය
නැත මා සැලුනෙ
ඈ මට බොහො වටිනේය
මොහු හා මගේ පෙර අවුලකුත් තිබු හන්දා
ඔහු තැත්කලේ මා මරණට මුළු වීරිය කැන්දා

ඒවා කොහෙද මා ඔහු බිම පෙරලාගෙනය
එනමුදු ඔහුගෙ ශක්තිය පරයන්නට බැරිය
වරක් පිහිය ගියෙ මගෙ නාහයට යටින්
කෑගසන්න මා තැත් කලේ එවිට වැරෙන්

මගේ කට වසන් ඔහු මට පා පහර දෙතී
එතකොට තමයි  මා  දුටුවේ පිහිය ලගින්
ගත්තේ එක විටම මම එය මර බියට
අනින්නට සිතුවෙ  නැතිමුත්
දැන් ඔහු මැරිලාය

මා කල හරිය ගගටම කැපු ඉණි සේය
මා දිගටම කූඩුවේ දිනගනිමින්ය

ඈ මා බේරා ගනීයැයි
මගෙ හිත ගතු කීවාය
 


එනමුදු ලිව්වෙ මගෙ මරණය 

ඈ 

මා දුන් තීන්ත පෑනෙන්ය  .....


~R.F~


Sunday, July 20, 2014

ඇහැල මල් වැටෙන ලී බංකුව ........








වෙනද වගේම වැඩ ඇරිලා

හවස හතරට විතර මන් lionel wendt එකට යන්න පිටත් වුණා .......

හුග කාලෙකින් මන් lionel wendt එක පැත්තේ ගිහින් නෑ

ඒ කාලෙනම් අර නාට්‍යයට මේ නාට්‍යයට
අර art එකට මේ art එකට
හැම මගුලකටම එකේ 


මේකත් office එකේ CSR එකක්
ගෙද‍ර යන්න හදිස්සියට bag එකත් කරට දාගෙන
දුවල ගිහින් 138ක වාඩි වුණා ....
හොද වෙලාවට එදා bus එකෙත් සෙනග අඩුයි 


හරියටම අවුරුදු 04 කට පස්සේ
වෙන කාටවත් කියල කර ගන්නම බැරි නිසා යනවා මිසක්
හිතකින් යන ගමනක් වුනේ නෑ.
bus එක පටන් ගත්ත වෙලේ ඉදලා
පස්සට අදිනවා වගේ ...


හිත පුරා මහා වැස්සක් වගේ
අකුණු ගහනවා හෝ ගගහා ,
තවත් දරාගෙන ඉන්න බැරි කමට,
බෙරේ වැව ලගින් මන් හෙමිහිට Bus එකෙන් බැස්සා 


එකපාරටම ආපු හුලං පාරක්,
මගේ සාරි පොට වැව දිහාට ඇදන් යන්න හැදුවා.
එතකොටම හුලන් පාරත් එක්ක මන් දැක්කා .....
යන්තම් සාරි පොට අතරින් මන් දැක්කා .....

මන් ලෝකේ වැඩිපුරම ආදරේ කරපු , ආදරේ විදපු තැන
දෙවියනේ තවමත් එතන ඒ විදිහමයි නේද ?? 


පාට පතුරු ගිහින් තිබුනත්
වටේටම කොළ හැලිලා , අතැරලා දාලා තිබුනත් ...
ඇහැල ගහ යටින් හැංගිලා තියෙන
ලී බoකුව ,,,,


අනේ දෙවියනේ ,
අපි කෙසෙල් කොලේ බත් බෙදාගෙන කාපු ,
තරගෙට ඇහල මල් පොකුරු වලට හුලන් පිබපු ,
රෑ එලි වෙනකම් කෝලම් කතා කියවපු,
පස්සේ පස්සේ ,තුරලට වෙලා, වැස්සේ සීතලට ගුලි වෙලා උන්නු ,
වැව් සුළගට සින්දු කියපු
පිස්සු සින්දු අහගෙන home work කරපු .....
Bus එක එනකම් සුදු වැල්ලේ මාපට ඇගිල්ලෙන් චිත්‍ර ඇදපු ,,,,
ඒ ලී බංකුව .... 


ඒ උණුහුම ආයි විදින්න මට බෑනේ දෙවියනේ ....
ලී  බන්කුව දිහා ආයෙත් නොබලාම මන් අනික් පැත්තට හැරුණා ,
එතකොටම සුළගට ගහගෙන ආපු ඇහැල මලක්, මගේ උරහිසේ වැදිලා දෙකකුල් ලගට ඇද වැටුනා.
අනේ යන්න එපා කියන්න වගේ .... උරහිසින් ඇදල නවතින්න කියන්නා වගේ
ඒ ඇහැල මල අතට ගුලි කරන්, මන් ආපහු හැරුණා 


හිත කිසි දෙයක් නොතේරෙන්න ගල් ගැහිලා ඉද්දි ,
මන් හෙමිහිට අතින් ඇහැල මල් අයින් කරලා
ලී බැංකුවේ වාඩි  වුණා ... අවුරුදු ගානකට පස්සේ, ඉස්සර විදිහටම  


මට, මටත් වඩා ආදරේ කරපු
හිසකේ ගහකටවත් කරදයක් වෙන්න නොදී මාව ආදරෙන් බලා ගත්තු ,
මුළු ලෝකෙටම ආඩම්බරෙන් කෑ ගහල කියන්න පුළුවන් ඇත්ත ආදරයක් මට දුන්නු ,
මගේ තුරුලේ මුළු ලෝකෙම හෙව්ව ....
මගේ හිනාවෙන් ජීවිතයම දිනපු ....
හැම වෙලාවේම මට ආදරේ කරපු ....
ලී බන්කුවට වෙලා
මන් එනකම් වේලි වේලි පැය ගානක් හිටපු ....
නුබ ,
මටත් හොරෙන් නෑවිදින් ඉන්න වුණා  


කිසි කෙනෙක් නොදැන හිටපු අපේ ආදරේ නිසා
සති තුනක්ම බලන් හිටියට පස්සේ මම එදා තීරණය කලා,
නුගේගොඩ තියෙන පන්තියට තනියම යන්න
සති තුනක් කියන්නේ, කල්ප ගානක් වගේ .....
ලී බන්කුව උඩ ඔයා නැතුව මන් පැය කීයක්නම් වැල්ලේ චිත්‍ර ඇද ඇද ,මග බලන් ඉන්න ඇතිද
අද නැත්නම් හෙට එයි කියා කියා .....
මන් කොච්චර නම් බලන් ඉන්න ඇතිද ,
බලන් ඉදල ඉදල, හරි යන්නෙම නැති තැන
තනියම ඔයාව දන්න කාවම හරි හොයාගෙන
මන් එදා නුගේගොඩට ගියා 


ගොතපු කොණ්ඩෙට ඇහැල මල් ගහගෙන ....
හම්බ වුනාම බනින්න කට පුරා ලෑස්ති වේවි, නුගේගොඩ Bus එකට මන් නැග්ගා .
shutter එක ලග වාඩි වෙලා , ඔයාට මොන දෙයක් වෙන්න ඇතිද කියල හිත හිතා ....
මන් නුගේගොඩ ලං වෙද්දීම , හුරු පුරුදු මුණක් දැකල ආයිත් හැරුණා ,
ඔව් ඒ ඔයා තමයි , ඔයාගේ ලස්සන හිනාව එක්ක ,
හරි අපූරු මුණු පොඩ්ඩ ,
අනිච්චාවත සංකාරා පද පේලි එක්ක මට ඒ වෙලාවේ ගැලපුනේ නෑ ...


හිතට දැනුණු තොන්තුවට Bus එකෙන් මන් බැස්සේ අවිස්සාවෙල්ලට කිට්ටු වෙලා
ආපහු හිත හැරුණු අතේ ගිහින් රෑ වෙද්දී යන්තම් ගෙට ගොඩ වුණා ...
තාමත් ඒ මරණ දැන්වීම මට පේනවා ...
යන්තම් දැක්කත් , අන්තිම වතාවට මන් ඔය මුණ දැක්කේ මරණ දැන්වීමකින්,

මට අවුරුදු ගානක් ආදරේ කරපු.
මේ ලෝකේ කාටත් වඩා ආදරේ කරපු ඔයා මටත් නොකියා යන්න ගිහින්
සති ගානක් පුරා හිත ඔද්දල් වෙලා, සහලෝල උණ ගත්ත,...
කා එක්කවත් වැඩි කතා බහක් නොතිබුණු, මන් results out වෙලා A /L ගොඩ කියලා තේරුණාම
කොළබට ටිකක් ඈතින් job එකක් හොයා ගත්තා ...
එදායින් පස්සේ ආයි මේ දැක්කමයි  ...


ඒ ඇහැල මල් වැටුන , බේරේ වැවේ හුලගින් සිසිල් වුණ
සුදු වැල්ලේ තියෙන, පාරට හැංගුන පරණ ලී බංකුව ....
කදුලුවලින්ම දියවුණ දවස්වල , වැඩත්  එක්ක ඒ රහස් ,ඒ අහිංසක ආදරය
මන් කාලයටම බාර කරලා ,හිතේ මහා පතුලට දාලා වහලා දැම්මා 


ඒ හුස්ම සද්දේ, ඒ හිනාව, ඒ කතාව,
 මේ ලී බංකුව ළග ඇහෙන්න වගේ
මන් ආපු වැඩේ නවත්තලා ඉස්සර වගේ ඇහැල කොළ අතරින්
තරු පායනවා බලාන හිටියා .....
යන්තම් සීතල වේගෙන එද්දී
හෙමීට සුදු වැල්ලේ ඔයාගේ නම ලියලා ...
මන් ඇහැල මලක් එදා වගේම කොණ්ඩෙට ගහගෙන
හෙමීට බේරේ වැවේ වතුරට එබුණා.


ඒ වතුරෙන් අදත් ඔයාගේ මුණ මගේ උරහිසේ හිස තියන්  ඉන්න හැටි
සද එලියට මට පෙනුණා ...
මරණ දැන්වීමෙන් දැක්කට පස්සේ ඔයාගේ සුදු අහිංසක මුණ,
 මන් ආපහු වැවු වතුර අතරින් බලාන හිටියා ...
ආයිමත් ඇහැල මලක් වතුරට වැටිලා
ඔයාගේ චායාව මගෙන් ඈතට අරන් ගියා ...
හරියට , ඉස්සර වගේ ,
මගේ මැණික  දැන් රෑ වෙලානේ පරිස්සමින් ගෙදර යන්න කියන්නා වගේ ....


ඒ ඇහැල මලත් අතේ ගුලි කරන්
අපේ රහස් කතා , ඇහැල මල් වලටයි , ලී බන්කුවටයි
ඉතිරි කරලා  මන් ආපහු හෙමීට කාලෙකට පස්සේ
ඇහැල මල් සුවද එක්ක ගෙදර යන්න පිටත් වුණා ......


~ R.F. ~

Saturday, July 12, 2014

නුබ හරිම දගකාරයි



මුලුගතම වෙලාන,

දැවටි දැවටී හදිස්සියට.

තොල්පෙති වියලාන ,

කෙස්වැටියම  අවුල් කර.

හීනියට හිරිගඩු ඇති කරාන,

සළු ගතින් මුදාලන, 

දෙනෙත් අඩවන් කරන.

නුබ,

හරිම දගකාරයි

.

.

.

.

සුළග 

~R.F~

Saturday, July 5, 2014

දියකිදුරියක් තරමටම ......


 ඉස්සර ඉදලම මම මුහුදු හුළගට , ඈතින් ඇහෙන ගුම් ගුම් ගාන
මුහුදෙ සද්දෙට හරියට ආස කලා ....

ඉස්සර , හුග කාලයක්ම අපි හිටපු ගෙදර තිබුනෙ මුහුද පෙනෙන මායිමේ
තාප්පේ එල්ලීගෙන ,මම ඉස්සර මුහුද දිහා බලාගෙන ඉන්නවා ....

කොච්චර මුහුද ලග හිටියත් නුවර ඉන්න කෙනෙක් තරමටවත් රැල්ල පාගන්න යන්න මට වුනේ නෑ

ඒ නිසාද මන්ද ,දුරින් ඉදන් වැටකෙයියා මල් වලට මන් තවත් පෙම් බැන්ද .....

රෑට රෑට ගේට්ටුවේ අග්ගිස්සෙන් ඉස්සි ඉස්සි මන් හද එලිය මුහුදට වැටිලා තියෙන හැටි බලනවා

සන්සුන් මුහුදට රිදී පාටට හද එලිය වැටිලා තියෙනවා තරම් ලස්සන දෙයක් තවත් නෑ ....

වාරකන් කාලෙට, හෝ හෝ ගාන සද්දෙට කොච්චර කන් පෙති හුරු වෙනවද කිව්වොත්ඒ නැළවිල්ල නැතුව නින්ද යන්නෙත් නැති තරම් ......

හෙළි හෙළිය්, කියා කියා අමාරුවෙන් දැල් ගොඩ  අදින සද්දේ,ජනෙල් දොරවල් හොලවාගෙන මහා හයියෙන්  ඇදී යන කොච්චි සද්දේ , අපිට වෙලාව කියන ඔරලෝසුවක් වුණා....


උදේට school van එක එනකම් මන්,රේල් පාර  ලගට හොරෙන්ම යනවා

ඈතින් කියා ගන්නවත් බැරි ලස්සන පාටක් වලකුලුවලට එතකොට වැටිලා තියෙනවා,උදෙන්ම ඉස්කෝලේ යන නිසා මුහුද දකින්නේ ආයිත් රෑ වෙලා....

දුක හිතෙත්දී ඒ මුහුදු සුළග, හිත ලගම ඇවිත් දැවටෙනවා වගේ...
දරා ගන්න බැරුව හිත ඉකි ගහද්දි , මුහුදු සද්දේ ගුම්ගුම් ගගා මගේ තනියට ඉකි ගහනවා වගේ...


අදටත්, ඒ මුහුදේ ලුණු පිරුණු අපුරු සුවද , හිත පුරා  මුළු හදවතමට පුරව ගන්නවා හදවතින් මගේ මුළු ගතටම ඒ අතීත සුවද විසුරුවලා....

මුහුදු රැල්ල වගේ ආයි  ආයි  ජීවිතේට මුණ දෙනවා

අද ආයිත් ගෙදර ගියොත් මුහුද බලන්න මට,ගේට්ටුවෙන් ඉස්සි ඉස්සි බලන්න ඕනවෙන එකක් නෑ
කාලයත් එක්ක අපි කොච්චර ලොකු වෙලාද  , ජීවිතේ කොච්චර වෙනස් වෙලාද
එත් මේ හති වැටි වැටී දුවන ජීවිතෙන් , චුට්ටක් නැවතිලා මුහුද දිහා බැලුවහම …..

ඒ මුහුද තවමත් ඒ වගේමයි  ....ගුම්ගුම් ගගා අඩගහනවා ... රැල්ලේ හැපී හැපී හිනා වෙන්න ....

සුලන් හමලා ඇදන් යන්න හදනවා ,හොරෙන්ම හද එළියෙන් හැඩවෙලා ඇති හැටි බලන්න ... 

එන්න බැරි වුනත් එදා තරම්වත් .....

දියකිදුරියක් තරමටම,

ආදරෙයි හැමදාම, 

මන් මගේ මුහුදට .......   

 ~R.F~